5.1
විද්‍යාත්මක අදහස් වල මුල් අවස්ථා
ශ්‍රී ලාංකික මානවයාගේ විද්‍යාත්මක අදහස් වල මුල්ම අවස්ථාවකට උදාහරණ දෙන්න.
වසර 28 000 කට පමණ පෙර බිම්වීදුරු නමින් හැඳින්වූ විනිවිද පෙනෙන තිරිවානා ගල්වලින් නිමකළ සමමිතික ගල්මෙවලම්, දැඩි පාෂාණ හැඩගැස්වීමට එකල පැවති සංවිධානාත්මක තාක්ෂණයේ ස්වරූපය පෙන්වා දෙයි. වෙර යොදා බලයක් යෙදීමෙන් ගල් පතුරු ගලවා ගෙන මෙවලම් තැනීමේ මෙම තාක්ෂණය 'පීඩන ශල්කනය' යනුවෙන් හැදින්විය.
මැටි ඔරු ආකාරයේ පැරණි සුසාන වල පැවැති විද්‍යාත්මක ක්‍රියාවලිය පහදන්න .
මේවා ඉදි කරන ලද්දේ මියගිය අය ආදාහනය කිරීම සඳහාය. මේවා විශාල බේසමක හෝ ඔරුවක හැඩයෙන් නිමවා ඇත. වඩාත් උචිත මැටි වර්ගය තෝරා ගෙන ගර්භයේ බිත්ති අවම උසකින් හා ඊට සරිලන ඝණකමකින් යුක්තව බිත්ති ලම්බාකාරව බැඳීම තුළින් සොහොන් බිත්ති වල සමබරතාවය රැක ගෙන ඇත. මෙහි දී 'යම් කිසි වස්තුවක් පොළවට ලම්බාකාර වීමෙන් එම වස්තුව මඟින් පොළොව මත ඇති කරන පීඩනය නිෂ්ක්‍රීය වේ'.යන භෞතික විද්‍යා මූලධර්මය භාවිත වී ඇත.
ක්‍රි.පූ.1350 දී ඉදිකරන ලද සොහොන් ගර්භයක මියගිය අය ආදාහනය කිරීමේදී ඇතුළට වාතය ලබා ගැනීම සඳහා මැටි නලයක් සවි කර තිබිණි. මෙහිදී 'දහනය සඳහා ඔක්සිජන් අවශ්‍ය වේ'. යන විද්‍යාත්මක මූලධර්මය භාවිත වී ඇත.
ඈත අතීතයේ නිවාස ඉදිකිරීමේ තාක්ෂණය කෙබඳු වී ද ?
ක්‍රි.පූ.1129 දී පමණ ඉදිකරන ලද නිවසක නටබුන් රත්නපුර දිස්ත්‍රික්කයේ උඩරංචාමඩම ප්‍රදේශයෙන් හමු වී තිබේ. පොළොව මත ගල් කැබලි අතුරා සවිමත් කොට ඒ මත මැටි අතුරා එම නිවසේ ගෙබිම ඉදිකර තිබිණි.
එහි බිත්ති ගොඩනගන ලද්දේ වරිච්චි මැටි වලින් බව තහවුරු වූයේ පිළිස්සී ගිය වරිච්චි මැටි කැබලි සොයාගෙන තිබෙන නිසාය. ඒ නිවසේ ඉදිරිපස සහ පිටුපස වශයෙන් කොටස් දෙකක් වෙන්කිරීමට නිවස මැදින් බිත්තියක් ඉදිකර තිබිණි. එහි සවිකර තිබූ දැවමය දොර උළුවස්ස සවිකළ සිදුරු කැණීමේ දී සොයා ගෙන තිබේ. මෙලෙස අත්තිවාරමක් මත බිත්ති ගොඩ නගා ඒ මත වහලයක් සවිකර කාලයක් පවතින ලෙස නිවසක් ඉදි කිරීමට එකල ජනයා සතුව යම් තාක්ෂණික දැනුමක් පැවති බව පැහැදිලි වේ.
අතීතයේ මැටි බදුන් තැනීමේ තාක්ෂණය කෙබඳු ද ?
පූර්ව ඓතිහාසික යුගයේ දී සකපෝරුව නම් සරල යන්ත්‍රය මැටි බඳුන් තැනීමට භාවිත කර ඇත. භාජනයක් සෑදීමට සුදුසු මැටි වර්ග සොයා ගැනීම, ඒවා පදම් කර ගැනීම, පිලිස්සීමට උදුනක් තනා ගැනීම, නියමිත උෂ්ණත්වයට බඳුන පුලුස්සා ගැනීම ආදිය සඳහා අවශ්‍ය දැනුම එකල ජනයා සතුව පැවතිණි.
එකල එක්තරා මැටි බඳුන් විශේෂයක් පිටත රතු පැහැයෙන් සහ ඇතුළත කළු පැහැයෙන් යුක්ත වන පරිදි නිමවා තිබේ. ඒවා 'කාලරත්ත වර්ණ මැටි බදුන්' යනුවෙන් හදුන්වයි.
මැටි බඳුන පිලිස්සීමෙන් පසු එහි මතුපිට ඔප දැමීම, වර්ණ ගැන්වීම ආදී දේ මැනවින් කිරීමට අවශ්‍ය කරන තාක්ෂණය එකල පැවතිණි.
5.2
විද්‍යාත්මක භාවිතයේ පරිණතිය.
5.2.1
ජල කළමනාකරණය
ජල කළමනාකරණය යනු කුමක් ද ?
ජලය රැස්කර අවශ්‍ය අවස්ථාවන්හි දී අවශ්‍ය පමණට ප්‍රයෝජනයට ගැනීම ජල කළමනාකරණය ලෙස සරලව දැක්විය හැකිය.
අතීතයේ මහා වැව් තැනීමේ අරමුණ කුමක් ද ?
*කෘෂිකර්මය කටයුතු සාර්ථක කර ගැනීම.
*ගංවතුර පාලනය කිරීම .
*නාගරික ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කිරීම.
අනුරාධපුර යුගයේ ඉදිකරන ලද මහ වැව් වල විශාලත්වය දක්වන්න.
*මින්නේරිය වැව - හෙක්ටයාර 2550
*කවුඩුල්ල වැව - හෙක්ටයාර 2537
*පදවිය වැව - හෙක්ටයාර 2357
*හුරුලු වැව - හෙක්ටයාර 2125
*කලා වැව - හෙක්ටයාර 2125
වැව් බැම්ම කෙටියෙන් හඳුන්වන්න.
කඳු දෙකක් අතර තිබෙන ගලක් සොයා ගෙන ඒ මත ඉදි කරන වැව් බැම්ම දෙපසින් කඳු දෙකට යා කරයි.
එමඟින් බැම්මේ ශක්තිමත් භාවය ආරක්ෂා වෙයි. මැටි තට්ටුවක්, පස් තට්ටුවක්, බොරළු තට්ටුවක් සහ කිරි මැටි තට්ටුවක් වශයෙන් එකිනෙක මත එකිනෙක අතුරා ඉතා තදින් තලා ගැනීමෙන් වැව් බැම්ම ඉදි කර ඇත.
රළපනාව කෙටියෙන් හඳුන්වන්න.
සුළඟ සහ ජලයේ ඇති වන චලිතය නිසා ජලය මතු පිට තරංග ඇති වේ. මෙම තරංග වලින් වැව් බැම්ම ඛාදනය වීම වැළැක්වීම පිණිස රළපනාව ඉදිකර තිබේ. වැව් බැම්මේ ඇතුළත බෑවුමේ ගල් ඇතිරීමෙන් රළපනාව නිමවා ඇත.
සොරොව්ව කෙටියෙන් හඳුන්වන්න.
විශාල වැව් වලින් ප්‍රවේශමෙන් ජලය පිටතට මුදා හැරීමට සොරොව්ව තනා ඇත. වැව් බැම්මේ ජලය පිරී පවතින ප්‍රදේශයෙන් ආරම්භව වැව් බැම්ම යටින් හෝ එය විනිවිද යන ආකාරයට ස්වභාවික ගල් පතුරු භාවිත කර සොරොව්ව ඉදි කර ඇත.
එයින් ජලය මුදා හැරීමට භාවිත කරන ලද්දේ සිරස් අතට සොරොව්වට සම්බන්ධ කර තිබූ ගල් කුලුනකි. එය ඈත් මෑත් කිරීමෙන් අවශ්‍ය තරමට ජලය පිටතට මුදා හැරීමට හැකි විය. මෙවැනි ගල්කුලුනු 'දියකැට පහන' යනුවෙන් හඳුන්වනු ලබයි.
බිසෝකොටුව කෙටියෙන් හඳුන්වන්න.
මෙය සොරොව්වෙහිම එක් අංගයකි. එය වැවෙන් ජලය පිටතට ගලා එන ගලින් තැනූ ආයත චතුරස්‍රාකාර අවකාශයකි.එය ඉහලින් බැලූ විට දිස් වන්නේ කොටුවක් ලෙසිනි.
ඇළ මාර්ග කෙටියෙන් හඳුන්වන්න.
ඇළ මාර්ගවලින් සිදුවූයේ ගංගා හරස් කර බැඳි අමුණුවල රැස්කරගත් ජලය වැව් වෙත ගෙන යාමයි. අඹන් ගඟ හරස් කර ඉදිකළ ඇළහැර ඇළ අතීතයේ ඉදිකළ දැවැන්ත ඇළ මාර්ගයකි.ඉන් මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ වැව්වලට ජලය ගෙන ගියේය.
පොකුණු කෙටියෙන් හඳුන්වන්න.
අතීතයේ පොකුණු ඉදිකරන ලද්දේ බෞද්ධ විහාර වල විසූ භික්ෂූන්ගේ ප්‍රයෝජනය පිණිසය. එසේ ඉදි කළ පොකුණු අතර කුට්ටම් පොකුණ, කුමාර පොකුණ, නෙළුම් පොකුණ, ඇත් පොකුණ, ආදිය වේ.
ඌරාකැට ළිං යනු මොනවා ද ?
වියළි කලාපීය ප්‍රදේශවල පානීය ජලයේ නියමිත ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම ළිං තනා ඇත. මෙහිදී විශාල ප්‍රමාණයේ මැටි බඳුන් කිහිපයක් ළිඳ තුළට බස්සවා එහි බිත්ති ආවරණය කිරීම සිදු කොට ඇත.
5.2.2
වාස්තු විද්‍යාව
අතීතයේ ගෘහ නිර්මාණ ශිල්පයේ ස්වභාවය කෙබඳු දැයි දක්වන්න.
අතීත රාජධානි වලින් හමු වූ දාගැබ්, බෝධිඝර, පිළිම ගෙවල්, ආරාම, දාන ශාලා, භාවනා කුටි, රජ මාලිගා, බලකොටු, බෙහෙත්ශාලා ආදී ගෘහ නිර්මාණ දෙස බැලීමේ දී ඒවා කෙතරම් නවීන තාක්ෂණයට අනුකූලව නිපදවා ඇත්දැයි අපට පැහැදිලි වේ .
එකල උස් දාගැබ්වලට අකුණු සන්නායක පවා සවිකර තිබිණි. රුවන්වැලිසෑය මුදුනේ සවිකර තිබූ 'ව්ජ්‍ර චුම්බට' නම් උපකරණය ඊට කදිම නිදසුනකි.
රුවන්වැලි සෑයේ අත්තිවාරම තනා ඇත්තේ ද නූතන කොන්ක්‍රීට් තාක්ෂණයට සමාන ක්‍රමවේදයක් අනුවය. මෙම අත්තිවාරම මත ඉදිවූ දැවැන්ත ගඩොල් ස්තූපයේ බර දීර්ඝ කාලයක් තිස්සේ නොනැසී දරා සිටින්නේ ඒ නිසාය .
අතීතයේ නගර නිර්මාණය හා උද්‍යාන නිර්මාණය කෙසේවී ද ?
මීට හොඳම උදාහරණය සපයන්නේ සීගිරියේ නාගරික සැලැස්ම හා එහි උද්‍යාන සංකීර්ණයයි. සීගිරි පර්වතය එහි අවට තැනිතලාවේ සිට මීටර 200 ක උසකින් යුක්තය. මාළිගයක නටබුන් දක්නට තිබෙන පර්වතයේ මුදුනේ වපසරිය හෙක්ටයාර තුනකට ආසන්න ය. පර්වතය කේන්ද්‍ර කරගෙන පිහිටා තිබෙන නැගෙනහිර හා බටහිර රාජකීය ප්‍රවේශ පිළිවෙලින් හෙක්ටයාර 40 හා 90 යන ප්‍රමාණවලින් යුක්ත ය. මෙම නාගරික සංකීර්ණය වටා එහි ආරක්ෂාව පිණිස ඉදිකර තිබෙන ගඩොළු ප්‍රාකාරවල දිග කිලෝමීටර 10 කට ආසන්න ය. මීට අමතරව සීගිරි පර්වතය වටා දිවෙන පරිදි සකස් කර තිබෙන දිය අගල්වල මුළු දිග කිලෝමීටර 8 කි. මේ සියලු දෑ විධිමත් ගණිතානුකූල ආකෘතියකට නිමවා ඇත.
අතීතයේ සනීපාරක්ෂක පහසුකම් හා වෛද්‍ය පහසුකම් කෙබඳු වීද ?
පොළොන්නරුව ආළාහන පිරිවෙන නම් ස්ථානයෙන් පැරණි රෝහලක නටබුන් හමුවී තිබේ. අඩි 147.5 ක් දිගැති අඩි 109.2 පළලැති රෝහල් ගොඩනැගිල්ලක් එහි තිබිණි. ඒ තුළ තිබී සොයා ගන්නා ලද දේ අතර සංකීර්ණ ශල්‍යකර්ම සඳහා භාවිතා කරන මෙවලම් ද විය. ඒ මඟින් අපේ පැරණි වෛද්‍ය ශාස්ත්‍රයේ පැවති දියුණු තත්වය පැහැදිලි වේ.
රජ මාළිගාවල පාවිච්චි කරන ලද වැසිකිළි හා කැසිකිළි පද්ධතිය ඉතා ගැඹුරු වළකට අපද්‍රව්‍ය පිට කිරීමට සකස් කර ඇත.ඒ අනුව පරිසරයට හානි නොවන අයුරින් අපද්‍රව්‍ය බැහැර කොට ඇත.
පොළොන්නරුවේ නටබුන් වලින් අපවිත්‍ර වූ ජලය ගලා යාමට සැකසූ කාණු පද්ධතියක් ද හමුවී ඇත. එමෙන්ම නාන පොකුණු වල ද විශේෂ නල මාර්ග හරහා අපද්‍රව්‍ය බැහැර කිරීමට කටයුතු කර ඇත.
පුරාණ යකඩ නිස්සාරණ තාක්ෂණයේ ස්වරූපය පහදන්න.
ශ්‍රී ලංකාවේ යකඩ නිස්සාරණය
ක්‍රි.පූ.2400 තරම් ඈතට දිවයයි. සබරගමු පළාතට අයත් බලංගොඩ සමනල වැව ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උදුන් හා මධ්‍යම පළාතට අයත් සීගිරියට නුදුරු අලකොල වැව දෙහිගහ ඇළකන්ද නම් ප්‍රදේශයෙන් සොයා ගන්නා ලද පැරණි යකඩ උදුන් මගින් මෙරට පැවති යකඩ නිස්සාරණ තාක්ෂණය වටහා ගත හැකිය.
යකඩ උණුවන්නේ උෂ්ණත්වය 1538 ⁰C දීය. සමනළ වැව යකඩ නිස්සාරණය කර තිබෙන්නේ ක්‍රි.පූ.3 සියවසේදීය. ඒ සඳහා යොදාගෙන තිබෙන උදුන් දැල්වීමට භාවිත කර තිබෙන්නේ ස්වභාවික සුළං බලයයි. කඳු මුදුනක ඉදිකර තිබෙන මෙම උදුන් කඳු අතරින් ගලා එන සුළං මගින් පැය 12 කට ආසන්න වෙලාවක් නොනිවී දැල්වී තිබේ. යකඩ සහිත ස්වභාවික ගල් කැබලි කොටා මැටියෙන් සකස් කළ උදුන් වලට දමා ඒ මතට අගුරු එක්කොට සවස් කාලයේ ගිනි දැල්වීමෙන් පසු ස්වභාවික සුළං බලයෙන් පසු දින අලුයම තෙක් ඇවිලී ඉන් යකඩ වෙන් වේ. සමනළ වැව යකඩ නිස්සාරණය කිරීමට භාවිත කර තිබෙන්නේ ලිමොනයිට් සහ හෙමටයිට් යන රසායන විද්‍යාත්මක නම් වලින් හඳුන්වන ගල් වර්ගයකි. මෙම උදුන් දැල්වීම සඳහා යොදාගෙන තිබෙන්නේ 'මරං' හෙවත් 'යකඩ මරං' නමින් හැඳින්වෙන ගස් පුළුස්සා ලබාගත් අඟුරු ය.දෙහිගග ඇළකන්ද ප්‍රදේශයේ යකඩ උදුන් දැල්වීමට අවශ්‍ය සුළං බලය ලබාගෙන තිබෙන්නේ මයිනහමක ආධාරයෙනි.
අතීතයේ සුළු කර්මාන්ත ආශිතව තාක්ෂණය කෙසේ භාවිත වූයේ ද ?
ආභරණ සැකසීම,මැටි කර්මාන්තය, මැණික් හා කම්මල් කර්මාන්තය එකල මෙරට පැවැතිණි. ජේතවන කැණීම්වලින් හමුවූ රන් ආභරණය වී ඇටයක ප්‍රමාණයේ තැල්ලක කොටසකි. එහි සියුම් මල් කැටයම් 21 ක් තිබී ඇත. අභයගිරි කැණීමේ දී හමුවූ වර්ණාලිප්ත උළුවලින් මෙරට පැවැති මැටි කර්මාන්තයේ දියුණුව පැහැදිලි වේ. කම්මල් කර්මාන්තයේ විශාල දියුණුවක් තිබූ බව දැනට හමු වී ඇති පැරණි ආයුධ,ආරක්ෂක උපාංග හා ශෛලිය උපකරණ වලින් පෙනී යයි.
5.2.3
දේශීය වත්සිරිත්
පැරණි ලාංකිකයන් අනුගමනය කළ වත්සිරිත් මොනවා ද ?
*කෘෂිකාර්මික අවශ්‍යතා සඳහා එකල
ජනතාව යාතුකර්මික පූජා කරන ලදී.
විවිධ ප්‍රාදේශික දෙවිවරුන් වෙනුවෙන් පුද
පූජා කරන ලදී .
*එදිනෙදා ගැටළු විසඳා ගැනීමට කෙම්පහන්
ක්‍රම අනුගමනය කරන ලදී.මෙහිදී මී තෙල්,
තල තෙල් ආදී තෙල් වර්ගයකින් පහනක්
හෝ පහන් කිහිපයක් දල්වා පුජාවක්
පැවැත්වීය.
*වගාවලට ඇතිවන කෘමි උවදුරු වළක්වා
ගැනීම,හරකුන්ට වැළඳෙන රෝග නිවාරණය
කිරීමට මෙම කෙම්පහන් ක්‍රම පවත්වා ඇත.
*ගවයින්ගේ ආරක්ෂාව පිණිස කිරිමඩු
ශාන්තිකර්මය පැවැත්වූ බවට රත්නපුර
දිස්ත්‍රික්කයේ ගල්පාය ප්‍රදේශයේ කැණීම්වලින්
හමු වී ඇත.
5.2.4
දේශීය දැනුම
අවකාශය මැනීම සඳහා පැරැන්නන් භාවිත කළ මිමි ක්‍රමය කුමක් ද ?
*ලාහ 40 = පෑළ 1
*පෑළ 12 = කුරුණි 12
*කුරුණි 44 = අමුණු 1
*අමුණු 4 = කරීස1
දිග හා දුර මැනීම සඳහා පැරැන්නන් භාවිත කළ මිමි ක්‍රමය කුමක් ද ?
*පරමාණු 36 = අණු 1
*අණු 36 = තජ්ජාරි 1
*තජ්ජාරි 36 = රථරේණු 1
*රථරේණු 36 = ලික්ඛ 1
*ලික්ඛ 7 = උක්ඛ 1
*උක්ඛ 7 = ධණ්ණමාස 1
*ධණ්ණමාස 7= ආංගුල 1
*ආංගුල 12 = වියත් 1
බර මැනීම සඳහා පැරැන්නන් භාවිතා කළ මිමි ක්‍රමය කුමක් ද ?
*වීහ 4 = ගුන්ජා 1
*ගුන්ජා 2 = මාසක 1
*මාසක 2.5 = අක 1
*අක 8 = ධරණ 1
*ධරණ 5 = ස්වර්ණ 1
*ස්වර්ණ 2 = පල 1
අතීතයේ කාලය මැනීම සිදු වූයේ කෙසේ ද ?
බෝග වැපිරීම සහ අස්වැන්න නෙළීම ආදී දෑ නියමිත කාලයට අනුව කළ යුතුය. දිගු කාලයක් මැනගැනීමට වර්ෂය යන අදහස භාවිත විය. එය චන්ද්‍රයාගේ ගමන අනුව පදනම් වූ මාස ක්‍රමයකට සකස් වූවකි. අමාවක දින සිට පසළොස්වක දින දක්වා දින පසළොසක්ද, පසළොස්වක දින සිට නැවත අමාවක දින දක්වා දින පසළොසක්ද , ඇතුළු දින තිහක කාලය මාසය ලෙස සැලකිණි. මෙම කොටස් දෙක පිළිවෙළින් පුරපක්ෂය සහ අවපක්ෂය යනුවෙන් හැඳින්විය.
දින 30 ක මාස නම් කිරීම සදහා දුරුතු, නවම්, මැදින් ආදි වශයෙන් පෙරදිගට ආවේණිකව පැවති ක්‍රමය භාවිත විය.
6 Comments
Comment
Send a Message